ගජගා සෙවනැලි

August 26, 2026

සංකේතාත්මක විශ්වයේ (Tokenized Universe) නෛතික හෙට දවස

ඉෂාන් රත්නපාල  | තාරිකා ද සිල්වා

අප අද ජීවත් වන්නේ මීට දහස් වසරකට පෙර  මානව වර් ගයා විසින් කිසිසේත් ප්‍රක්ෂේපණය නොකළ ඩිජිටල් අවකාශයක්  තුලයි. ආදිතම මානවයා තම සගයෙකු සමග ප්‍රකාශන  සන්නිවේදනය පවත්වාගත් සරල හූ හඬ වෙනුවට  ක්ලෝනීකරණය වූ   අන් අයෙකුගේ ශබ්ද තරංග  අද ඩිජිටල් වියමන් මත සනිටුහන් වෙමින් පවතී. ලොව පුදුම අටෙන් එකක් වූ සීගිරිය දැකබලා ගැනීමට  පැමිණි ගමේ  බුදල්ගේ ප්‍රකාශනයට පණ පෙවූ පාෂාණ  මත විහිදුණු සීගිරි අප්සරාවකගේ   රුව  සීගිරියෙන් සැතපුම් දසදහසක් එපිට වෙනත් ස්වෛරී රාජ්‍යයක  ප්‍රත්‍යන්ත  ප්‍රාන්තයක  කුඩා පරිගණක තිරයක් හරහා අද මැවෙන්නේ එම අප්සරාවන්ට නොදෙවෙනි   ඩිජිටල් රුවැත්තියන් ලෙසයි. 

එකල සියවස් ගණනාවකට පෙරද,  මෙකල ඩිජිටල් යුගය තුළද  වෙනසක් නොමැතිව කලා කෘතීන්ට මිනිසුන් තුළ සුවිශාල ආශ්වාදයක් ජනිත කළ හැකියි.  කලා කෘතීන් ස්ථාපිත කර තිබෙන කලාගාරයන් අතීත ලොව රසවින්දනයේ හදවත බඳුවේ. රසිකයින් හට  සිතුවම්, මූර් ති, ඡායාරූප සහ විවිධ කලා කෘති දැක ගත හැකි සාමකාමී රසගුලාවන් බවට අතීත කලාගාරයන් පත්ව තිබුණි. අතීත කලාකරුවෝ තමන්ගේ අද්විතීය කලාකෘතීන් අනාගතයේ කිසියම් හෝ දිනකදී ප්‍රසිද්ධ ගැලරියක ප්‍රදර් ශනාත්මකව එළි දැක් වීමට  මහත් සේ අපේක්ෂා දැල්වූහ. නරඹන්නන් මෙම කලා ගැලරීන් නැරඹීමට පැමිණියේ විටෙක ප්‍රදර් ශනාත්මක කලාකෘතීන් නරඹා අගය කිරීමට සහ තවත් විටක එකී කලාකෘති මිලදී ගෙන තමන් සතු කර ගැනීමේ අභිමතාර්ථයෙනි. කුමන අභිමථාර්ථයක් පදනම් වුවද බොහෝ කලාකරුවන් අතීතයේ දී මහජන ප්‍රසිද්ධියට පත් වූයේ මෙම කලාගාරයන් නිසාවෙනි. ඒ අනුව, කලාකෘතිය ප්‍රායෝගිකව ස්ථානගත වී තිබූ ස්ථානය එකී නිර්මාණයේ ජීවන චක්‍රයේ තිඹිරිගෙය  විය.

ඉහත සඳහන් කලා තිඹිරිගෙය සම්ප්‍රදායයේ ප්‍රතිළුලයක් ලෙස පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ “මොනාලිසා”සහ  “කන්‍යාවියගේ මරණය”ආදී සිතුවම් නැරඹීමට කලා ලෝලියකුට පැරීසියට යා යුතුම වේ.  එවන් වපසරියකදී පිටපත් කොපමණ ප්‍රමාණයක් ලොව පුරා සංසරණය වී තිබුණද , ලූවර් කෞතුකාගාරයේ සාඩම්බර මදහසක් සහිත ලොව මුල්ම මොනාලිසාගේ ඩොලර් මිලියන ගණනක වටිනාකම දිනෙන් දින ප්‍රසාරණය වනු ඇත යන්න සටහන් තැබිය හැක.  ඉහත පරිදි වූ ඉතිහාසයක් තුළ දෝලනය වූ කලා කෘතියක ඉරණම් මාර් ගයේ NFTs (Non Fungµble Tokens) පෙරළිකාර හැරවුම් ලක්ෂයක් නිර් මාණය කර තිබේ. සාම්ප්‍රදායික කලාගාරයන් ගෙන් ඔබ්බට නිර් මාණ ලොවට විධාරණය කිරීමේදී NFT ඒ සඳහා සාධනීය දායකත්වයක් ලබා දී තිබේ.  

NFT නෛතිකව නිර්වචනය කර ඇත්තේ ද?

මෙම ලිපිය  නිර් මාණය වන අවස්ථාව වන විටත් NFT යන ඉංග්‍රීසි වචනයට ගැලපෙන සිංහල ව්‍යවහාරයක් සිංහල ශබ්දකෝෂය තුළට හඳුන්වා දී නොමැත.  එවැනි පසුබිමකදී NFT යනු ආදේශ කළ නොහැකි සංකේත ලෙස ,  වඩා පෘථුලව  අර් ථ ගැන්වීම ප්‍රඥාගෝචර බව පෙනේ. NFT යන්නට නෛතික අර් ථ විවරණයක් ලබාදීම සඳහා සුදුසු නීතියක්  ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය   මේ දක්වා කෙටුම්පත් කර නොමැත.  ඉහත කරුණු අනුව පෙනී යන්නේ NFT යනු ශ්‍රී ලාංකේය නෛතික භූ දර් ශනයට ආගන්තුකයෙකු බවයි.  කෙසේ නමුත් එවැනි වටපිටාවක් තුළ  අංක 2443/30 දරන 2025.07.01 හි රජයේ අති විශේෂ ගැසට් පත්‍රය තුළ 2025.10.01 දින සිට  බදු පනවනු ලබන  දේශීය ආදායම් කොමසාරිස්වරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සේවාවන් ‘NFT වේදිකා’ යන වචනය අන්තර්ගත කර ඇත.   

අංක 2443/30 දරණ 2025/07/01 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ  පළවෙනි කොටසේ I වැනි ඡේදයේ –  සාමාන්‍ය-  රජයේ නිවේදන ලෙස දැක්වෙන   ශීර් ෂය යටතේ 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ඉහත සඳහන් නියෝගය අන්තර්ගත වෙයි.

එකී නිවේදනය ප්‍රකාරව 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන)  පනතෙන් අවසන් වරට සංශෝධිත 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතේ 26  වන වගන්තියේ(1ආ)  උප  වගන්තිය යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට පැවරී ඇති බලතල ප්‍රකාරව 2025 ඔක්තෝබර් පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි,  නිර්වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී,  එම සේවා සැපයීම්වලට අදාලව එකතු කළ අගය මත බදු ගණනය කිරීම සහ බද්ද ගෙවීම කළ යුතු ආකාරයෙන් අදාළ නිවේදනයේ පළවෙන උපලේඛනය මගින් නිශ්චිතව දක්වා තිබේ.  

අදාළ දැන්වීමේ 1  වැනි උපලේඛණය තුළත් ශ්‍රී ලංකාවේ නිර් වාසික තැනැත්තකු විසින් ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේ දී එකතු කළ අගය මත බද්ද අය කිරීමේ සහ ගෙවීමේ ක්‍රියාපටිපාටිය අන්තර් ගත කර ඇත.  ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීම යන අනුශීර් ෂය යටතේ එහි 1.3  කරුණ ලෙස  සඳහන් වනුයේ,  විද්‍යුත් වේදිකාවක් හරහා සපයනු ලබන පහත සේවාවන් බදු අය කළ හැකි සැපයුමක් ලෙස සලකනු ලබන නමුත් ඒවාට පමණක් සීමා නොවන බවයි. 

I.          මේඝ පරිගණකය (Cloud Computing) : සත්කාරක සේවා පරිගණක ගබඩා පහසුකම් සහ පරිගණක බල සේවා

ii          සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම  (SaaS) වෙබ් පාදක යෙදුම්    

iii.        විද්‍යුත් වාණිජ්‍යය සේවා: මාර්ගගත වෙළඳසැල්, ගෙවීම් ද්වාර සහ ඇණවුම් ඉටු කිරීමේ සේවා

iv.         ඩිජිටල් අලෙවිකරණය සහ වෙළඳ ප්‍රචාරණය: සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය   (SEO)  සමාජ මාධ්‍ය අලෙවිකරණය, PPC දැන්වීම් සහ විද්‍යුත් තැපැල් අලෙවිකරණය

v.          සයිබර් ආරක්ෂණ සේවා: තර් ජන හඳුනා ගැනීම, ෆයර් වෝල් ආරක්ෂාව සහ දත්ත සංකේතනය 

Vi.        තොරතුරු තාක්ෂණ සහාය සහ කළමණාකරණය කළ සේවා: දුරස්ථ තාක්ෂණික සහාය, තොරතුරු තාක්ෂණ උපදේශන සහ උපකාරක සේවා විසඳුම්

Vii’.      ප්‍රවාහ සේවා : වීඩියෝ, සංගීතය, සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා

Viii.      මූල්‍ය තාක්ෂණය (FinTech): මාර් ගගත බැංකුකරණය, ගෙවීම් සකසනයන් (PayPal, Stripe සහ Cryptocurrency හුවමාරු)

Ix.        ඊ වාණිජ්‍යය වේදිකා (E-Commerce Platforms)

X.         සමාජ මාධ්‍ය වේදිකා (Social Media Platform)

Xi.        ඉල්ලු‍ම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms)

Xii.       අන්තර් ගතය බෙදා ගැනීමේ වේදිකා (Content Sharing Platforms)

Xiii.      Cloud Collaboration වේදිකා  

Xiv.       වෙළඳපොල වේදිකා

Xv.        සූදු ක්‍රීඩා වේදිකා

Xvi.      Blockchain​ සහ NFT වේදිකා  : OpeanSea, Binance, Ethereum – පාචක යෙදුම්

Xvii.     සාමාජිකත්වය සඳහා දායක මුදල් ගෙවනු ලබන වෙබ් අඩවි

Xviii.    හෝටල් වෙන් කිරීම්, ටිකට්පත් වෙන්කරවා ගැනීම සඳහා යෙදුම් භාවිතය 

අදාළ ලැයිස්තුවේ xvi  වන  කරුණ  ප්‍රකාරව Blockchain සහ NFT වේදිකා : OpeanSea, Binance, Ethereum -පාදක යෙදුම්  පිළිබඳව සඳහන් වේ.   කෙසේ නමුත් Blockchain සහ NFT වේදිකා අදාළ පළවෙනි උප‍ලේඛණයේ කරුණු අනුව බදු අය කළ හැකි සැපයුමක් ලෙස සලකනු ලබන නමුත් Blockchain සහ NFT වේදිකා යන යෙදුම් එකී 1 වැනි උපලේඛනය තුළ නිර්වචනය කර නොමැත. ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින්ම 2025 ඔක්තෝබර් පළවෙනි දින සිට බදු අය කර ගැනීම සඳහා  සලසා ඇති ඉහත දැක්වෙන රජයේ නිවේදනය ප්‍රකාරව  නිශ්චිතව බදු අය  කළ හැකි NFT වේදිකාවන් කවරේද යන්න පිළිබඳව  සාධාරණ නෛතික ව්‍යාකූලතාවයක් මතුවෙයි.

NFT නෛතිකව නිර්වචනය හැක්කේ කෙසේද?

ඉහත  පරිද්දෙන් NFT යන යෙදුම ශ්‍රී ලංකාව තුළ නෛතිකව නිර් වචනය කර නොමැති සංදර්භයක් තුළදී NFT යන වචනයට සාධාරණ විවරණයක් ලබාදීම කාලීන අවශ්‍යතාවයක් සේ  සැලකිය හැකිය.  එකී NFT යන යෙදුමට පැහැදිලි විවරණයක් ලබාදීම සඳහා NFT යන්නෙන් අර් ථකථනය වන්නේ කුමක්ද යන්න මූලිකවල සරලව  අවබෝධ කර ගැනීම  අත්‍යවශ්‍ය වේ.

NFT යනු cryptography ලෙස හැඳින්වෙන ගුප්ත ලේඛන කලාව හරහා  සංකේතගතවූ  බ්ලොක්චේනයක් මත ස්ථාපනය වූ   ඩිජිටල් වත්කමක් ලෙස වඩා පෘථුල ආකාරයෙන් අර්ථ නිරූපණය කළ හැකි වේ.  ඉහත සඳහන් පරිදි අංක 2443/30 දරණ 2025/07/01 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය තුළ සඳහන් දේශීය ආදායම් කොමසාරිස් වරයාගේ නියෝග ප්‍රකාරව 2025.10.01 දින සිට නිර් වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට Blockchain හරහා සපයන සේවා සඳහාද බදු පැනවීමට සැලසුම් කර ඇත්තේ වුව ද, Blockchain යන්නට නෛතික අර් ථකථනය මේ දක්වා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයෙන් පනවා ඇති නීති තුළ දක්නට නොමැත. 

ඉහත පරිදි වන යථාර් ථ පසුබිමක් තුළ, Blockchain යන්නෙන් අර් ථ නිරූපනය වන්නේ කුමක්ද යන්න පිළිබඳවද අවම ලෙස අදහසක් ඇති කර ගැනීම 2025.10.01 වන විට ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කර ඇති බ්ලොක්චේනයට අදාල බදු පිළිබඳ විමසුමකදී කාලීනව වැදගත්වනු ඇත. Blockchain යන ඉංග්‍රීසි වචනය තුළින් නිරූපිත අදහස සිංහලට අනුවාදනය කළ හැක්කේ විමධ්‍යගත තාක්ෂණික ලෙජර් අවකාශයක් ලෙසයි.  එකී තාක්ෂණික ලෙජර්  අවකාශය පරිඝණක රාශියක් හරහා පැතිරී පවතී. ඒ අනුව Blockchain මත දත්ත ගබඩා වූ පසු එකී තත්ත්වය වෙනස් කිරීමක් සහ/හෝ සංශෝධනය කිරීමක් සිදුකිරීම අපේක්ෂා කරන අයෙකු එලෙස සිදු කරන වෙනස්කම් සහ/හෝ සංශෝධනයට අනුරූපීව බිලොක්චෙිනය තුළ තුළ ප්‍රාථමිකව ගබඩා වී ඇති අනෙකුත් දත්තයන් ද වෙනස් කළ යුතු වේ. ඉහත සඳහන් පරිදි වූ ව්‍යුහාත්මක පැවැත්මක් හරහා බ්ලොක්චේනයක් තුල ගබඩා කරන දත්තයන්හි ආරක්ෂිතභාවය අතිශය සුරක්ෂිත වේ.  නමුත් සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වන සමහර අවස්ථාවන්ද පවතියි. 

NFT සතුව පවතින ප්‍රධානතම උපලක්ෂණය වනුයේ එය වෙනත් සාධක මගින් ආදේශ කළ නොහැකි වීමයි.  Non fungibility හෙවත් ආදේශ කළ නොහැකි භාවය සඳහා වූ ප්‍රායෝගික නිදසුනක් ලෙස දැක්විය හැක්කේ ගුවන් සමාගමක් විසින් ගුවන් යානයක නිශ්චිත වූ ආසනයක් සඳහා ගුවන් මගියකුට නිකුත් කරන ලද ගුවන් ටිකට් පතකි. එකී ටිකට් පත තුල අන්තර් ගත අනන්‍ය වූ දත්ත අනුව වෙනත් මගියෙකුට නිකුත් කළ ගුවන් ටිකට් පතකින් පෙර සඳහන් කළ ගුවන් ටිකට් පත ආදේශ කළ නොහැක. කැළණි විහාරයේ ඇති සෝලියස් මෙන්දිස් නැමැති අග්‍රගණ්‍ය කලා කරුවා විසින් නිර් මාණය කරන ලද බුදු හිමියන් විසින් මහියංගනයේ යක්ෂයන් ඉදිරියේ යමා මහ පෙළහර පෑමට අදාල මුල් බිතුසිතුවම් ලොව වෙනත් කිසිදු කලා කෘතියකින් ආදේශ කළ නොහැකි බව Non fungibility යන්නට සැපයිය හැකි තවත් කදිම ශ්‍රී ලාංකේය උදාහරණයක් වේ.

යම් කලා කෘතියක් NFT   හෙවත් සංකේතාත්මක ව්‍යුහයක් බවට පරිවර්තනය කළ පසු අදාළ NFT හට හිමිවන සුවිශේෂී අනන්‍යතාවයක් පවතී.  එම අනන්‍යතාවය අංක වලින් යුතු අනන්‍ය ඩිජිටල් සහතිකයක් ලෙසටද වර නැගිය හැකියග

NFT ප්‍රායෝගිකව නිර් මාණය කරන්නේ කෙසේද?

NFT නිර් මාණ කරුවන්ගේ පළමු පියවර වන්නේ  කිසියම් ඩිජිටල් අයිතමයක් නිර් මාණය කිරීමයි. එය මෙරට ඩිජිටල් කලාකරුවකු තම පරිගණකය තුළින් නිර් මාණය කරන පැරණි බිතු සිතුවම් ශෛලියේ ඩිජිටල් සිතුවමක් හෝ කාටූනයක් විය හැකියි. එක්සත් ජනපදයේ සංගීතඥයෙකු පටිගත කරන ලද  කෙටි සංගීත ඛණ්ඩයක් විය හැකියි. දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියෙකු ක්‍රිකට් තරඟාවලියක් අතරතුර ලබා ගත් ක්‍රීඩක ඩේවිඩ් මිලර් ගේ දැවැන්ත හයේ පහරක ඓතිහාසික ඉරියව්වක් හෝ ඩිජිටල් නිර් මාණ කරුවකු විසින් සකසන ඕනෑම ඩිජිටල් නිර්මාණයක් විය හැකියි. මෙකී ඩිජිටල් අයිතමය නිර් මාණය කළ පසු දෙවන පියවර ලෙස අදාල නිර් මාණය සඳහා වෙළඳපොලක් තෝරා ගත යුතුය. සැබෑ ලොව වෙළඳපොලින් ඔබ්බට ගිය ඩිජිටල් අවකාශයේ ආකර් ශනීය වෙළඳපොලක් ඔබට මෙහිදී දැක ගත හැකි වනු ඇත. OpenSea, Mintable, Rarible වන් විවිධ නාමයන්ගෙන් යුත් වෙළඳපොලවල් වර් තමාන ඩිජිටල් අවකාශය තුළ  පවතී. මෙවැනි භත්‍ඔ වෙළඳපොලකදී NFT නිර් මාණය කිරීමට, මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව ලැබේ. එකී අවකාශය සුවිශාල මාර් ගගත සාප්පුවක් ලෙසට සැලකිය හැකියි. එකී සාප්පුව තුළ අලෙවි කරනු ලබන්නේ ඩිජිටල් කලාවයි. අවධානයට යොමු කළ යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ සාමාන්‍ය වෙළඳපොලක සේම NFT වෙළඳපොල භාවිතා කිරීමටද ඔබට මුදල් පසුම්බියක් අවශ්‍ය වීමයි. 

 එකී  මුදල් පසුම්බිය භෞතික සීමා නිර් ණයන්ගෙන් විහිදුණු ඩිජිටල් මුදල් පසුම්බියක් විය යුතුයි. එය NFT සහ ගුප්තකේතන මුදල්(Cryptocurrency) ගබඩා කිරීමට, යැවීමට සහ ලබා ගැනීමට ඉඩ සලස්වා දෙන ආරක්ෂිත මාර්ගගත මෙවලමක් ලෙස හැඳින්විය හැකියි. ඔබගේ සාමාන්‍ය මුදල් පසුම්බියේ ඔබගේ බැංකු කාඩ්පත්, මුදල් සුරක්ෂිතව තබා ගන්නා ආකාරයටම ඩිජිටල් මුදල් පසුම්බිය තුළ ඔබගේ NFT ගබඩා කළ හැකිවේ.  අන්තර්ජාලයෙහි පහසුවෙන් නොමිලේ භාගත හැකි ජංගම යෙදුම් මේ සඳහා පවතී. සරල ක්‍රියාවලියක් වන මෙම ඩිජිටල් මුදල් පසුමිබිය ඔබට මිනිත්තු කිහිපයකින් නිර් මාණය කිරීමට හැකියාව ලැබේ. 

ඉන් අනතුරුව ඩිජිටල් මුදල් පසුම්බිය සහ වෙළඳපොල සම්බන්ධ කළ පසු අදාල ඩිජිටල් නිර්මාණයේ ගොනුව උඩුගත කර(Upload) අවශ්‍ය තොරතුරු පිරවිය යුතුවේ. මෙම තොරතුරු යන්නට ගොනුවේ මාතෘකාව සහ එයට අදාල විස්තරයන් ආදී දෑ ඇතුලත් වේ. අවසානයේ NFT නිර් මාණය කිරීම සඳහා Mint යන්න තෝරා ගත යුතුවේ. මේ මොහොත වන විට ඔබගේ සංකේතාත්මක කලා කෘතිය වන NFT නිර් මාණය වී තිබේ. ඉහත ක්‍රියාවලිය මගින් ඔබේ ගොනුව බ්ලොක්චේනය (Blockchain) මත ගබඩා කර හිමිකාරීත්වය සනාථ කරනු ලබන එයට අනන්‍ය වූ ටෝකන් හැඳුනුම්පතක් හෝ වෙබ් ලිපිනයක් (URL) ලබා දෙනු ලැබේ. ඔබේ නිමැවුම විකිණීම සඳහා ස්ථාවර මිලක් නියම කළ මැකියි. එමෙන්ම කාලානුරූපී වෙන්දේසියක්ද සැකසිය හැකියි. 

NFT  පිළිබඳව වූ අධිකරණමය ප්‍රවේශය

ඩිජිටල් ලෝකයේ අධික මිලකට අලෙවි වූ නිර් මාණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ Everyday නම් NFT නිමැවුම පිළිබඳව වාර් තා වී ඇත.  Beeple නම් අන්වර් ථ නාමයෙන් හැඳින්වෙන Michael Joseph  නම් නිර් මාපකයාගේ ජනප්‍රියතම සහ ඩොලර් මිලියන 69 කට අලෙවි වූ Everyday නමැති NFT නිර් මාණය සම්බන්ධයෙන් අභියෝගාත්මක නීතිමය ගැටළු කිහිපයක් පැන නැගුණි.

Portkey Tech Ltd Vs Venkateswarane

වාර් තා ගත නඩු තීන්දුව තුළින් නිරූපණය වන්නේ Everyday නමැති NFT නිර් මාණය හා සබැඳි නෛතික ගැටළු පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් දකුණු දිස්ති්‍රක්කයට අයත් දිසා අධිකරණය ස්වකීය නෛතික මනස මෙහෙයවූ ආකාරයයි. වෙසෙසින්ම NFT නිර්මාණ මත ගොඩ නැගුණු නෛතික ගැටළු  1946 ඇමරිකා එක්සත් ජනපදයේ  වෙළඳ ලකුණු පනත නොහොත් ලැන්හැම් පනතේ  ප්‍රතිපාදන හරහා වෙළඳ ලකුණු ආරක්ෂා කිරීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ තත්වයන් දක්වා සහ අදාල වෙළඳ ළකුණු අවභාවිතයන් සහ ව්‍යාජ හිමිකාරීත්වයක් නියෝජනය කිරීම මත වූ  සංකීර්ණ නෛතික ගැටළු දක්වා විහිද යන ආකාරය පිළිබඳව මෙම නඩුවේදී ගරු අධිකරණයේ අවධානයට ලක්වී ඇත.

NFT යන්න නවීන ඩිජිටල් ලෝකයේ කෙතරම් උද්වේගකර මාතෘකාවක් වී ඇත්දැයි ඉහත නඩු තීන්දුව විචක්ෂණශීලී මනසින් අධ්‍යයනය කිරීමේදී ගම්‍ය වේ. අසාමාන්‍ය මූල්‍යමය ආයෝජනයන් ඩිජිටල් මාධ්‍ය නිමැවුමක් වෙනුවෙන් මිනිසුන් නූතනයේදී වැය කරන්නේ එතුළින් නිරූපණය වන හුදු  ඩිජිටල් වත්කම නිසාම පමණක් නොව ඉතිහාසයේ පෙර නොවූ විරූ ඩිජිටල් අනන්‍යතාවක් ස්පර්ශ කිරීමට ඔවුන්ට අස්පර්ශනීය අවකාශයක් ලැබෙන නිසා යැයි අනුමිතියක් ගොඩ නැගේග තවත් සරලතම ලෙසකින් අර් ථ විවරණය කළහොත් NFT හිමිකර ගැනීම හුදෙක් සාමාන්‍ය කෘතියක් හිමිකර ගැනීමකින් ඔබ්බට දිවෙන සුවිසල් ඩිජිටල් අනාගතයක් හිමි කර ගැනීමට ආසන්න වශයෙන් සමාන කළ හැකිවනු ඇත.

NFT හි පවතින සිත් ඇද ගන්නා සුළුම කාරණය වන්නේ ලොව විශාල අවධානයක් තමා කෙරෙහි යොමු නොවුණු  අතිදක්ෂ කලාකරුවන්ට සීමා නොමැති ඩිජිටල් අවකාශය තුළ තම නිර්මාණ සමස්ත හතරවෙනි මානය සඳහාම එළිදැක්වීම සඳහා විසාරිත අවකාශයක් හිමිවීමයි. අතීතයේදී ප්‍රමාණවත් ප්‍රාග්ධන සම්පතක් නොමැතිව ස්වකීය නිර්මාණ සඳහා භෞතික කලාගාරයන්හි ප්‍රවේශයක් ලබා ගැනීමට කලාකරුවන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. නමුදු නූතන ඩිජිටල් ලෝකයේ නිර් මාණශීලී මනසක් සහ ඩිජිටල් උපාංගයක් සතු ඕනෑම අයෙකුට ඔවුන්ගේ නිර් මාණයන් ලෝකය ඉදිරියේ නිරාවරණය කිරීමට ඩිජිටල් වේදිකාවක් විවරව තිබේ. කලාකරුවා ජීවත් වන ස්ථානය, කලාකරුවාගේ වයස, ඔහුගේ හෝ ඇයගේ ප්‍රසිද්ධ  අප්‍රසිද්ධ භාවය NFT වෙළඳපොළ තුළ ප්‍රමුඛ සාධකයක් නොවේ.

NFT සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනතේ ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂාවක් ලැබේද?

2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනතේ  (මින් මතු ’බුද්ධිමය දේපල’’ පනත ලෙස හැඳින්වෙන) පරිච්ඡේද එකෙහි ශීර් ෂය ලෙස සටහන් වන්නේ ප්‍රකාශන අයිතියයි. 

කෙසේ නමුත් ප්‍රකාශන අයිතිය යන වචනය බුද්ධිමය දේපල පනතේ අර්ථ නිරූපණ වගන්තිය වන 05 වන වගන්තියේ අර් ථ කථනය කර නොමැත.  කෙසේ නමුත් බුද්ධිමය දේපල පනතේ සැකැස්ම ලෙස සූක්ෂමව අධ්‍යයනය කරන කල්හි පෙනී යන්නේ ව්‍යවස්ථාදායකය විසින් ප්‍රකාශන අයිතිය යන වචනයට නිශ්චිත අර් ථකථනය නොදක්වා ඇති වූයේ නමුත් ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂා විය යුතු කෘතින් ලැයිස්තු ගත කර ඇති බවය. ඉහත සඳහන් පරිදි ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂා විය යුතු කෘතීන් පිළිබඳ ලැයිස්තුව බුද්ධිමය දේපල පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව පහත පරිදි සඳහන් වී ඇත.  

6(1)      (මෙහි මින් මතු ’කෘතිය’’යනුවෙන් සඳහන් කරනු ලබන) ශාස්ත්‍රීය, කලා සහ විද්‍යාත්මක පරාසයකට ඇතුළත් පහත සඳහන් මුල් බුද්ධිමය නිර් මාණ, ශාස්ත්‍රීය, කලා සහ විද්‍යාත්මක නිර් මාණ වශයෙන් ආරක්ෂා කරනු ලැබිය යුතුය

(අ)       පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන් හා වෙනත් ලියවිලි ;

(ආ)      කථා, දේශන, ඇමතීම්, අනුශාසනා සහ වෙනත් වාචික කෘති;

(ඇ)      නාටකීය හෝ ගීත නාටකීය කෘති, අභිරූපණ, නෘත්‍යවිද්‍යාත්මක කෘති සහ වේදිකා සඳහා වන නිෂ්පාදන වශයෙන් නිෂ්පාදිත වෙනත් කෘති ;

(ඈ)     (ඇ) ඡේදයේ නිශ්චිතව සඳහන් කෘති, වේදිකාගත කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සහ එවැනි නිෂ්පාදන සඳහා යෝග්‍ය ජනප්‍රවාද ප්‍රකාශන වේදිකාගත කිරීම සඳහා නිෂ්පාදනය කිරීම ;

(ඉ)       සංගීතමය සමඟ ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති ;

(ඊ)       ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති ;

(උ)       ගෘහ නිර් මාණ ශිල්පීය කෘති;

(ඌ)     චිත්‍ර, පින්තාරු කිරීම්, මූර් ති, කැටයම්, ලිතෝ මුද්‍රණ, විචිත්‍ර ගෙත්නම් සහ වෙනත් ලලිත කලාත්මක කෘති;

(එ)       ඡායාරූප ශිල්පීය කෘති;

(ඒ)       ව්‍යවහාරික කලා කෘති;

(ඔ)       භූගෝල විද්‍යාව හා භූ ලක්ෂණ විද්‍යාව, ගෘහ නිර්මාණ ඝිල්පීය හෝ විද්‍යාව සම්බන්ධ සිතියම්, පිඹුරු, කටු සටහන් සහ ත්‍රිමාණ කෘති.

විශේෂයෙන්ම බුද්ධිමය දේපල පනතේ 6(1) වගන්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී ශාස්ත්‍රීය කලා සහ විද්‍යාත්මක පරාසයකට ඇතුලත් එකී වගන්තියේ 6(අ) සිට (ඔ) දක්වා වන ලැයිස්තුවට අන්තර් ගත වන මුල් බුද්ධිමය නිර් මාණ පමණක් බුද්ධිමය දේපල පනතේ ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂා කරනු ලැබිය යුතු බව ව්‍යවස්ථාදායකයේ අභිමතාර්ථය බව පැහැදිලි වේ. 

බුද්ධිමය දේපල පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව NFT මුල් බුද්ධිමය නිර්මාණ ලෙස සැලකිය හැක්කේද ?

විශේෂයෙන්ම බුද්ධිමය දේපල පනතේ 6(1) වගන්තිය යටතේ සඳහන් මුල් බුද්ධිමය නිර් මාණ යන වචන ඛණ්ඩය කොටස් දෙකකට විඛණ්ඩනය කර සම්පූර් ණයෙන් වෙනස් සංකල්ප දෙකක් ලෙස අර් ථ කථනය කිරීම නිශ්ඵල ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල නීතිය පිළිබඳ වූ නෛතික ප්‍රාමාණිකයන් විසින් සඳහන් කර ඇත.   ඉහත සඳහන් ි’මුල්’’ සහ ’බුද්ධිමය නිර් මාණ’ සංකල්ප ද්විත්වය එකිනෙකා මත යැපෙන එකිනෙකට සම්බන්ධ සංකල්ප බව සඳහන් කරන මෙම විෂය සම්බන්ධ වූ නීති විශාරදයන් විසින් යම් කතෘ වරයෙකු අවම ප්‍රමාණයක වූ නිර් මාණාත්මක උප ලක්ෂණ සහිතව යම් කෘතියක් නිර්මාණය කරන්නේ නම් ඒ තුළ මුල් සහ බුද්ධිමය නිර්මාණ ලෙස සඳහන් සංකල්ප දෙකම සම්මිශ්‍රිතව පවතින බවට වැඩි දුරටත් විවරණය කර ඇත. 

ඉහත සන්දර්භය තුළ යම් නිර් මාණයක් මුල් නිර් මානයක් වීම සඳහා එකී නිර් මාණයේ කතෘ වරෙයකු විසින් දායක විය යුතු අවම කතෘ ශ්‍රමය පිළිබඳව ලොව අධිකරණ තුළ ස්ථාපනය වී ඇති නෛතික මාර් ගෝපදේශයන් සලකා බැලිය යුතුවේ. විශේෂ‍ෙයන්ම  Cambridge Uniersity Press Vs University Tutorial Ltd  නඩුවේදී ඉංග්‍රීසි අධිකරණය විසින් එක්සත් රාජධානියේ 1911 හි ප්‍රකාශන අයිතිය  පිළිබඳ නීතියේ සඳහන් ප්‍රතිපාදන විශ්ලේෂණය කරමින් තීරණය කරන්නට යෙදුණේ කොපමණ ප්‍රමාණයක ශ්‍රමයක් සහ සහ/හෝ තීරණයක් ප්‍රකාශන අයිතිය ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට පරිපූර් ණ කළ යුතුද යන්නට මාර් ගෝපදේශයක් ලෙස සඳහන් කළ හැකි මූලධර්මයක් නොමැති බවයි. කෙසේ නමුත් University of London Press Ltd Vs University Tutorial Press Ltd” නඩුවේ දී ඇට්කින්සන් සාමි වරයා විසින් තීරණය කරන ලද්දේ වෙනත් අයෙකුගේ ශ්‍රමය ශිල්පය සහ මූලය මත සම්පූර් ණයෙන් යැපී ඉදිරිපත් වූ ප්‍රකාශනයකදී එකී පෙර සඳහන් පුද්ගලයාගේ ශ්‍රමය, ශිල්පීය කුසලතාව සහ මූලය පිළිබඳව සවිඥානික වෙමින් ඒ මත යැපී ඉදිරිපත් වූ දෙවන ප්‍රකාශනයට ප්‍රකාශන අයිතියක් ඇත්තේද යන්න ගරු අධිකරණය විසින් නිර් ණය කළ යුතු බවයි.

University of London Press Ltd Vs University Tutorial Press Ltd”  නඩුවේදී තීරණය කරනු ලැබුවේ ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතිය අදහස් වල ප්‍රකාශන අයිතිය පිළිබද නීතිය මුල් අදහස් පිළිබඳ නොසළකන බවත් අනන්‍යව අදහස ඉදිරිපත් කිරීම පිළිබඳව සළකා බලන බවත්ය.

ඒ අනුව අප ඉදිරියේ ඇති තාක්ෂණික ලෝකය විසින් නිර් මාණය කර ඇති NFT වලට ලංකාවේ බුද්ධිමය දේපල පිළිබඳව වූ නීති ප්‍රාකාරය තරණය කරමින් ප්‍රකාශන අයිතිය යන ඇතුල් මාළිගයට ප්‍රවිෂ්ඨ විය හැකිද යන නෛතික ගැටළුවට පිළියම් සැපයීම අප සතුව කාලීනව පැන නැගී දැවන්ත අභියෝගයක් වේ. 

NFT තුළ අන්තර් ගත Metadata බුද්ධිමය දේපල පනත යටතේ වන ප්‍රකාශන අයිතිය යටතේ සුරක්ෂණය වන්නේද?

NFT විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් විසින් තර් ක කරනු ලබන්නේ NFT තුළ අන්තර්ගත වනුයේ හුදෙක් Metadata  බවයි.   Metadata යන යෙදුම නවීන තාක්ෂණික ලෝකයේ බහුලව භාවිතා වන්නක් වුවද ලංකාවේ නීති පද්ධතිය තුලට ආගන්තුක වචනයක් සේ සැලකිය හැකිය. ඉහත සඳහන් පරිදි වූ ප්‍රායෝගික නෛතික රික්තකයක් Metadata යන්න නෛතිකව නිර්වචනය කිරීමෙහි ලා ශ්‍රී ලාංකීය නීති පද්ධතිය තුළ පැන නැගී ඇති අවස්ථාවකදී ජාතික අවකාශීය දත්ත යටිතල පහසුකම් ආයතනය   (National Spartial Data Infranstructure Sri Lanka, මින් මතු NSD ලෙස හැඳින්වෙන) ආයතනය Metadata නිර්වචනය කර ඇත්තේ දත්ත පිළිබඳව වූ දත්ත (Data about Data)  ලෙසයි. NSD විසින් තව දුරටත් Metadata යන්න නිර්වචනය කර ඇත්තේ ‘’Data about the data is called metadata. Information about the datasets being published through a standard structure comprising of controlled vocabularies on government sectors, dataset types, jurisdictions, access mode, etc. Apart from facilitating easy access to data, it is useful for federation & integration of data catalogs ලෙසයි. විශේෂයෙන්ම වාග් විද්‍යානු රූපීව Metadata යන යෙදුමෙහි මෙටා යන කොටස පුරාණ ග්‍රීක භාෂාවෙන් පැන නැගුණු වචනයක් බවටත් ි’ඒ පිළිබඳව’’ ”about” යන අර් ථය මෙටා යන යෙදුමෙන් නිරූපනය වන බවටත් වාග් විද්‍යාඥයන් විසින් තර් ක කරනු ලබයි. විශේෂයෙන්ම Metadata පිළිබඳව දීර් ඝ විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදුණු Richard Gartner ස්වකීය‘’ Metadata, Shaping Knowledge from Antiquity to the Semantic Web” කෘතියේදී සඳහන් කර ඇත්තේ Metadata හුදෙක් දත්තයන්ට ලඝු නොවී ඊට ඔබ්බෙහි වූ නිර් මාණෙක කතෘ, අදාල කතෘවරයාට සිටින අනුගාමිකයන් ප්‍රමාණය, කතෘට සිටින මිතුරන් ප්‍රමාණය මෙන්ම කතෘගේ සිතැඟි ද අන්තර් ගත  දත්තයන්ට ඔබ්බෙන් විහිදී ගිය සුවිශාල පරිචයක් නිරූපණය කරන බවයි.

NFT සඳහා ශ්‍රී ලාංකීය බුද්ධිමය දේපල නීති අවකාශය තුල ප්‍රකාශන අයිතියක් සුරක්ෂණය කළ හැක්කේද?

බුද්ධිමය දේපල පනත නීතියක් බවට පැනවීමට ප්‍රථම ව්‍යවස්ථාදායකය ඉදිරියේ අදාල පනත් කෙටුම්පත දෙවන වර විවාදයට ලක් කරන ලද 2003 ජූලි මස 23 දිනදී අදාල පනත ව්‍යවස්ථාදායකයට හඳන්වා දෙන ලද එවකට වාණිජ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉලෙක්ට්‍රොනික අන්තර් දත්ත හුවමාරුවක් පිළිබඳව ශ්‍රී ලංකාව නුදුරු සතියකදී බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.  අදාල බුද්ධිමය දේපල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් එවකට පාර් ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර රන්දෙණිය මහතා විසින් ප්‍රකාශන අයිතිය අන්තර්ගත පනතේ 6,7 වගන්ති තුලින් නිර් මාණ කාර් යයන්හි යෙදී සිටින තැනැත්තන්ට ලැබී ඇති ආරක්ෂාව පිළිබඳ සඳහන් කර ඇත.  අදාල විවාදයට එක්වූ එවකට මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සඳහන් කර ඇත්තේ මෙම පනත් කෙටුම්පතේ අංක 5 සිට අංක 27 දක්වා දිවෙන වගන්ති අනුව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනන්‍යතාව ආරක්ෂා කරමින් කටයුතු කරන සංගීතය,නැටුම්, චිත්‍රපටථ ග්‍රන්ථ නිර් මාණ පරිවර් තන කරන සියළු දෙනාම ආරක්ෂා කිරීමට අවශ්‍ය පදනමක් සපයා ඇති බවත් පනත් කෙටුම්පතේ 6 වන වගන්තිය ප්‍රකාරව ලැයිස්තු ගත කර ඇති කෘති තුළින් අංග සම්පූර්ණ ඒකරාශී කිරීමක් පළමු වතාවට සිදු කර ඇති බවත් ය.  කෙසේ නමුත් බුද්ධිමය දේපල පනත් කෙටුම්පත් අවස්ථාවේ සිදුවූ වාර් තා ගත විවාදය තුළ කිසිඳු ස්ථානයක ඉහත සඳහන් කළ අදාල පනත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරන ලද එවක වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව පිළිබඳව වූ ප්‍රක්ෂේපණය හැරුණු කොට , වර් තමාන තාක්ෂණික ලෝකය හරහා ලොවට නිර් මාණයක් ලෙස දායක වී ඇති NFT තුළ අන්තර් ගත නිර් මාණ සඳහා ප්‍රකාශන අයිතියේ ආරක්ෂාව ලැබේද යන්න පිළිබඳව තර් කයන් දක්නට නොලැබේ. ඒ අනුව 2003 වසරේ නොවැම්බර් මස 12 වන දින ගරු කතානායකතුමාගේ සහතිකය සමඟ නීතියක් ලෙස බලාත්මක වූ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත තුළ NFT සඳහා ප්‍රකාශන අයිතියක් තහවුරු වන්නේද පිළීබඳව වන නව්‍ය නෛතික කතිකාවතක අත්‍යවශ්‍යතාවයක් මතුව තිබේ.

ඉහත සඳහන් විවාදයන් සමඟින් සම්මත වූ බුද්ධිමය දේපල පනතේ 8 (අ)   වගන්තියේ දැක්වෙන්නේ පනතේ 6 වන සහ 7 වන වගන්ති පිළිබඳ කවර විධි විධානයක් තිබුණද කෘතියක ප්‍රකාශ කර, විස්තර කර, පැහැදිලි කර, නිරූපණය කර හෝ ගැබ් කර තිබුණද යම් අදහසක්, ක්‍රියාවලියක්, ක්‍රියා පිළිවෙලක්, ක්‍රියා කරවීමේ ක්‍රමයක්, සංකල්පයක්, ප්‍රතිපත්තියක්, නව සොයා ගැනීමක් හෝ හුදෙක් දත්ත කෙරෙහි පනතේ II වන කොටස යටතේ හෙවත් ප්‍රකාශන අයිතිය ලෙස ශීර්ෂය සහිත කොටස යටතේ වන ආරක්ෂාව ව්‍යාප්ත නොවිය යුතුය යන්නයි. ඒ අනුව භත්‍ඔ තුළ අන්තර්ගත නිර්මාණයන් නිරූපණය කරන Metadata  බුද්ධිමය දේපල පනතේ 8(අ) වගන්තියේ හුදු වචනාර්ථය පාදක කර ගනිමින් ඊට අනුසාරීව ලබා දෙනු ලබන ලඝු අර්ථනිරූපණයකට අනුව බුද්ධිමය දේපල පනතේ II වන කොටසෙහි පළමු පරිච්ඡේදයේ දක්වා ඇති පුකාශන අයිතියට අදාල ආරක්ෂාවෙන් ව්‍යුක්ත කළේද යන්න සහ/හෝ සංයුක්ත කළ යුත්තේද යන්න දැනට පවතින බුද්ධිමය දේපල පනතේ වගන්ති වලට නෛතික ප්‍රාණය ලබා දෙන අනාගත අධිකණමය කාර්යයභාරයක් වනු ඇත. ඉහත අධිකරණමය කාර්යයභාරය එලෙසම අවිච්ඡින්නව පවතින ස්ථානයකදී සමාන්තර නෛතික පද්ධතියන් තුළ ප්‍රකාශන අයිතීන් හි පරිචයන් තුළට NFT සහ/හෝ NFT තුළ අන්තර් ගත Metadata අන්තර් ගත වීම සහ නොවීම පිළිබඳ නෛතික සංවර් ධනයන’ පිළිබඳ සවිඥානික වෙමින් ඒ හා සමගාමීව බුද්ධිමය දේපල පනතේ 6 වන වගන්තිය තුළ ලැයිස්තුගත කර ඇති කෘතීන්ගේ ඒකරාශියට NFT ද ඇතුලත් කළ යුතු වන්නේය අභිප්‍රාය දරන අනාගත ව්‍යස්ථාදායකයක් විසින් යථා යෝග්‍ය පරිදි බුද්ධිමය දේපල පනතේ වගන්තියට සහ/හෝ ඊට අනුෂාංගික අනෙකුත් වගන්තීන්ට සිදු කරනු ලබන අනාගත සංශෝධන තුළින් මෙම ලිපිය හරහා අවධාරණය කරන ලද , NFT සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල සන්දර් භය තුළ ප්‍රකාශන අයිතියේ ආරක්ෂාව ලැබේද යන කාලීන නෛතික ගැටළුවට දීර් ඝ කාලීන විසඳුමක්  ලැබෙනු ඇත.

ආශ්‍රිත මූලාශ්‍ර

  1. ‘Museums of the Future: Digital Collections and NFT Art’ (Sewall Belmont, 29 April 2025) https://www.sewallbelmont.org/museums-of-the-future-digital-collections-and-nft-art/ accessed 18 August 2026.
  1. W Pessarlay, ‘Sri Lanka Central Bank Warns Against Digital Assets Investments Amidst Political Unrest’ (CoinGeek, 17 July 2022) https://coingeek.com/sri-lanka-central-bank-warns-against-digital-assets-investments-amidst-political-unrest/ accessed 18 August 2026.
  1. Inland Revenue Department, The Gazette of the Democratic Socialist Republic of Sri Lanka (Extraordinary) Gazette No 2443/30 (01 July 2025).
  1. R Sharma, ‘Non-Fungible Token (NFT): What It Means and How It Works’ (Investopedia, 18 April 2025) https://www.investopedia.com/non-fungible-tokens-nft-5115211 accessed 18 August 2026.
  1. S Chakrawarty, ‘Cryptocurrency Regulations in Sri Lanka’ (Coinfomania, 20 June 2025) https://coinfomania.com/cryptocurrency-regulations-in-sri-lanka/ accessed 18 August 2026.
  1. A Hayes, ‘Blockchain Facts: What is it, How it Works, and How it can be used’ (Investopedia, 24 March 2025) https://www.investopedia.com/terms/b/blockchain.asp accessed 18 August 2026.
  1. ‘What is Blockchain Security?’ (Kaspersky, 2025) https://www.kaspersky.com/resource-center/definitions/what-is-blockchain-security accessed 18 August 2026.
  1. B Hammi, S Zeadally and A Perez, ‘Non-fungible Tokens: A Review’ (2023) 6(1) IEEE Internet of Things Magazine 46.
  1. A Kalnina, D Lima and S Franzén, ‘Bridging the Gap: An Exploration into how NFTs can be used as a Tool for Brand Management’ (2022) 8(2) Research Paper, Lund University.
  1. J Tampi, ‘Non-Fungible Tokens for Trustees’ (2021) 5 PCB 208.
  1. Coursera Staff, ‘How to Create an NFT: NFT Marketplace Guide for 2025’ (Coursera, 7 January 2025) https://www.coursera.org/articles/how-to-create-an-nft accessed 18 August 2026.
  1. Beeple, Everydays: The First 5000 Days (2021) https://www.beeple-crap.com/everydays accessed 18 August 2026.
  1. Portkey Tech Ltd v Venkateswaran 1:23-cv-05074 (SDNY 2024).
  1. Trademark Act of 1946 (The Lanham Act) 15 USC §§ 1051 et seq.
  1. Intellectual Property Act No 36 of 2003 (Sri Lanka).
  1. DM Karunaratna, The Law Relating to Literary and Artistic Creations in Sri Lanka (Sarasavi Publishers 2019) 62.
  1. Cambridge University Press v University Tutorial Ltd (1928) 45 RPC 1.
  1. Copyright Act 1911 (1 & 2 Geo 5 c 46).
  1. MacMillan & Co Ltd v Cooper (1924) 26 BOM LR 292.
  1. University of London Press Ltd v University Tutorial Press Ltd [1916] 2 Ch 601.
  1. S Barrington, ‘The Role of Metadata in Non-Fungible Tokens: Marketplace Analysis and Collection Organization’ (Master’s thesis, UC Berkeley School of Information 2021).
  1. National Spatial Data Infrastructure Sri Lanka, ‘What is Metadata?’ (4 April 2025) https://nsdi.gov.lk/what-metadata accessed 18 August 2026.
  1. J Johnston, ‘Metadata: Origins and Metaphors — Where did “metadata” come from anyway?’ (10 September 2024) https://www.jesseajohnston.net/posts/2024/metadata-origins-metaphors/ accessed 18 August 2026.
  1. R Garner, Metadata: Shaping Knowledge from Antiquity to the Semantic Web (Springer 2016).
  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්), 149 වන කාණ්ඩය, 6 වන කලාපය (2018) 1052.