2025 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පාරිසරික නීතියේ සන්ධිස්ථානීය අධිකරණ තීන්දුවක් සනිටුහන් වූවා. නිරාජ් රොෂාන් හෙවත් “අලි රොෂාන්” නමින් ප්‍රචලිත පුද්ගලයා හට වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් මිලියන 20.6 ක දඩයක් කොළඹ ගරු මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් නියම කරනු ලැබුවා.
අලි රොෂාන්ට එල්ල වූ චෝදනාවන් 2009 වන් කාල සීමාවකට දිව යන්නක්. 2009 සිට 2015 පමණ දක්වා, මහරගම, නාවල, ඇරැව්වල, බත්තරමුල්ල, ඔරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම චෝදනාවන්ට අදාල වැරදි ඔහු විසින් සිදු කර තිබෙන බව වාර්තා වනවා. මෙම චෝදනා අතරට අලි ලේඛනයේ ඇතුළත් කිරීම් ව්‍යාජ ලෙස සකස් කිරීම ද ඇතුළත් වූවා.
අලි රොෂාන් විසින් “සිඟිති” නම් ඇතින්නක් බලපත්‍ර නොමැතිව ඔහුගේ සන්තකයේ තබා ගැනීමට එරෙහිව මෙම දණ්ඩන නියමයන් පැනවී තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හට “සිඟිති” නම් ඇතින්න රාජසන්තක කිරීමටද පියවර ගන්නා ලෙසට ගරු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා. නඩු විභාගයේදී ගරු විනිසුරු මඩුල්ල විසින් අලි රොෂාන් ට එරෙහිව තිබූ පෙර වැරදීන්ද සළකා බලනු ලැබුවා.
මෙය නීති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ද?
මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ වන ජීවි සංරක්ෂණ නීතිය සම්බන්ධයෙන් සිදු වූ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සනිටුහන් කළ හැකියි. ශත වර් ෂ ගණනාවක් ඔබ්බට දිවෙන ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ අලි ඇතුන්ට හිමි වී ඇත්තේ නොමද ආදරයක් සහ ගෞරවයක්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය, රාජ්‍යත්වය, සංස්කෘතිය සහ ආගමික වශයෙන් පවතින මෙම අගනාකම නිසාම හස්තියෙකුගේ වටිනාකම සුවිශාලයි.
ශ්‍රී ලංකාවේ හස්තීන් වසර 2,000 කට වැඩි කාලයක් බුද්ධාගම, සංස්කෘතිය සහ ඉතිහාසය සමඟින් ගැඹුරින් බැඳී තිබෙනවා. මනරම් ඇසළ පෙරහැරේ සධාතුක පූජනීය කරඬුව වැඩම වීමට හස්තියෙකු යොදා ගැනීමම ලාංකීය හස්තීන් ට හිමිවන ගෞරවාදරය කෙතරම්දැයි කීමට ප්‍රමාණවත්.
ආර් ථිකමය වශයෙන් පමණක් නොව ජීව විද්‍යාත්මක සත්වයෙකු ලෙසද අලි ඇතුන් ට හිමි වන්නේ ඉහල ස්ථානයක්. ඒ මන්ද යත්, හස්තීන් පරිසර පද්ධතියේ සමතුලිතතාවයට හේතු වන්නක්. නිරෝගී අලි ගහනය බොහෝ විට සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක් පිළිබිඹු කරනු ලබනවා. අලින්ගේ සංඛ්‍යාව අඩු වුවහොත්, එයින් සංඥා කරන්නේ පාරිසරික අසමතුලිතතාවය පිළිබඳවයි. එමෙන්ම අලි ඇතුන් ජෛව විවිධත්වය පවත්වා ගැනීමට උපකාරී වනවා.
ශ්‍රී ලාංකීය අලි ඇතුන් ආසියානු අලියාගේ (Elephas maximus) සුවිශේෂී උප විශේෂයක්. අප්‍රිකානු අලි ඇතුන් මෙන් නොව, ශ්‍රී ලාංකික පිරිමි අලින්ගේ කුඩා ප්‍රතිශතයකට පමණක් “ඇත්දළ රහිත” ජාන ව්‍යාප්තියක් පවතිනවා.
සියලුම ආසියානු අලි උප විශේෂ අතරින් ශරීර ප්‍රමාණයෙන් විශාලතමයන් වන්නේ ශ්‍රී ලාංකීය අලි ඇතුන්.ලාංකීය දැවැන්තයින් මෙම හේතූන් නිසාම අද්විතීය වන අතර ඔවුන් සංරක්ෂණය කිරීම අතිශය වැදගත් වනවා.
හස්තීන් හා සබැඳි නෛතික තත්වය
අලි ඇතුන් සම්බන්ධයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ බලපවත්වෙන නීතිය වන්නේ 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක(සංශෝධන) පනතයි. එමෙන්ම 1982 අංක 12 දරණ පොදු දේපල පනතේ විධිවිධානයන්ද අලි ඇතුන්ට අදාල වනවා.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක(සංශෝධන) පනතට අනුව ලියාපදිංචි කර නැති යම් අලියෙකු හෝ ඇතෙකු නීත්‍යානුකූල බලයක් හෝ අනුමැතියක් නොමැතිව අල්ලා ගනු ලැබූ ලෙස හෝ රැගෙන යනු ලැබූ ලෙස අනුමාන කළ යුතුයි. එම අලින් පොදු දේපළ ලෙස සලකනු ලබනවා.
එමෙන්ම ඇත් දළයක් හෝ ,ඇත් දලයක් නොවන ඇතකුගේ දතක් හෝ, ඇත් දළයක හෝ ඇත් දතක යම් කොටසක් හෝ ඇත් දළයකින් හෝ ඇත් දතකින් නැතහොත් ඇත් දළයක හෝ දතක යම් කොටසකින් සෑදූ භාණ්ඩයක් හෝ ,ඇත් දලයකින් හෝ ඇත් දතකින් ලබාගත් ඇත් දත් ද්‍රව්‍ය අඩංගු යම් භාණ්ඩයක් හෝ, ඇතකුගේ යම් කොටසක් හෝ, ඇතකුගේ යම් කොටසකින් සෑදූ යම් භාණ්ඩයක් හෝ ඇතකුගේ යම් කොටසක් අඩංගු යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවෙන් පිටතට අපනයනය නොකළ යුතු බව පනත මගින් දක්වා තිබෙනවා.
අලි ඇතුන් ලියාපදිංචි කිරීම
අලි රොෂාන්ගේ තීන්දුවත් සමඟින් නීති විරෝධී ලෙස අලි ඇතුන් සහ ඇත් පැටවුන් ජාවාරම් කිරීම සම්බන්ධ සිදුවීම් විශාල වශයෙන් හෙළිදරව් වෙමින් පවතිනවා.
අලි ඇතුන්, ඇත් දළ සහ අලි ඇතුන්ගේ ශරීර කොටස් මෙම ජාවාරම් තුළ ඇතුළත් වනවා. වන ජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම නීතිමය තත්ත්වයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට ඇප කැප වී සිටිය යුතුයි. මෙම සියලු ක්‍රියාවන් පිටුපස අදිසි දේශපාලන හස්තයන්,දේශීය සහ ජාත්‍යන්තර වන අපරාධකරුවන් සිටිය හැකියි.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක(සංශෝධන) පනත ප්‍රකාරව අලි ඇතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති නම් හෝ ඇතකු හෝ අලියකු සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබාගෙන ඇත්නම් මිස අලි ඇතුන් අයිතිව සිටීම සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රයෝජන ගැනීම කිසිම පුද්ගලයෙකුට සිදු කළ නොහැකියි.
එමෙන්ම අලි ඇතුන් අයිති ව සිටින හෝ තම බාරයෙහි තබාගෙන සිටින සෑම අයෙක්ම ඒ ඇතා නියමිත නිලධරයා වෙත යවා ලියාපදිංචි කළ යුතුය. එසේ ලියාපදිංචි කිරීමට පෙර ඒ සඳහා නියම කර ඇති නිසි ලියාපදිංචි ගාස්තුව ද ගෙවිය යුතුය.
එමෙන්ම අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා අලි ඇතුන්ගේ ලියාපදිංචි ලේඛනයක් එනම් අලි පොතක් වනජීවි දෙපාර්තමේන්තුව සතු වනවා. මෙම අලි පොත නියමිත ආකාරයෙන් පවත්වාගෙන තබා ගැනීමේ වගකීම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සතු වනවා. අලි රොෂාන් ගේ නඩුවේ ප්‍රශ්නගත තවත් කරුණක් වූයේ මෙම අලි පොතයි.
පනත තවදුරටත් ප්‍රතිපාදන දක්වා සිටින්නේ අලි ඇතුන් අයිතිව සිටින හෝ තම භාරයෙහි සිටින සෑම පුද්ගලයෙක්ම නියමිත බලපත්‍ර ගාස්තුව ගෙවීමෙන් පසු එම සත්වයා සම්බන්ධ නියමිත නිලධාරියාගෙන් වාර්ෂික බලපත්‍රයක් ලබා ගත යුතු බවයි.
ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති අලිඇතුන් සම්බන්ධ ජාවරම් සහ ඒ ආශ්‍රිත සිදුවීම්
පෙර සඳහන් කළ පරිදිද ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සන්දර්භයන් තුළ අලි ඇතුන් සබැඳි දීර් ඝ කතන්දර පවතිනවා. අතීතයේ ආගමික ස්ථානයන්හි , වංශාධිපතියන් විසින් සිය සමාජීය තත්වය පෙන්වීමේ සංකේතයක් ලෙස අලි ඇතුන් ළග තබා ගත් බවට අතීත වාර්තා සාක්ෂි දරනවා.
නීතියේ වර් ධනයත් සමගින් මෙම අසම්මත තත්වය ට එරෙහිව නීත්‍යානුකූල ප්‍රතිපාදන ඉහත පරිදි පැමිණ තිබෙනවා. කණගාටුවට කරුණ නම් ආගමික පූජකයින් අසලින්, විවිධ සිද්ධස්ථානයන් තුළින්, බලපරාක්‍රමයක් සහිත විවිධ තැනැත්තන් අසලින් විටින් විට අලි ඇතුන් මතු වීමයි. එම සත්වයින් ඔවුන් අසලට පැමිණියේ කෙසේද? කුමන ස්ථානයෙන්ද යන්න විටෙක අබිරහසක්. නීතිමය ප්‍රතිපාදන මතින් මෙතරම් සුරක්ෂිත සත්වයෙකු මෙලෙස විවිධ පාර්ශ්වයන් අසලින් අනීතිකව මතුවීම සත්‍ය වශයෙන්ම ආරක්ෂණය සම්බන්ධයෙන් එල්ල වන විශාල ගැටළුවක්.
2009 සිට 2015 තෙක් කාල වකවානුවේදීද “අලි රොෂාන්” සහ තවත් අයට එරෙහිව අලි ඇතුන් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු පවරා තිබූ බව ඉහතදීද සඳහන් කරනු ලැබුවා. මෙම ජාවාරම කාලාන්තරයක් පුරා රොෂාන් වැන්නවුන් සිදු කරමින් යන්නේ අන්තර්ජාතිකව විය හැකියි.
තවත් සමහර අලි ඇතුන් භාරකරුවන් තමන් භාරයේ සිටින සත්වයන් විවිධ උත්සව අවස්ථාවන් වර්ණවත් කිරීමට මුදලට ලබා දෙන අතර ඔවුන් එමඟින් සැලකිය යුතු මුදලක් උපයා ගනියි. ආරක්ෂිත කාණ්ඩයේ සත්වයෙකු වන ඇතුන්ට එහිදී විඳිමට සිදු වන සත්ව හිංසනය අතිමහත්.
තායිලන්තයෙන් පරිත්‍යාග කරන ලද ආගමික සිද්ධස්ථානයක සිටි අලියෙකු වන මුතු රාජා හට සිදුවූ නොසලකා හැරීම සහ අපයෝජනයන් ජාත්‍යන්තර මාධ්‍යන්හිද වාර් තා වූවා. ජාවාරම් කිරීම හෝ නීති විරෝධී ලෙස අල්ලා ගැනීම හැරුණු විට, යමෙකු භාරයේ සිටින අලි ඇතුන්ගේ සුභසාධනය ද නීතිමය, සදාචාරාත්මක සහ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බව එයින් පැහැදිලි වනවා.
තවත් සුප්‍රසිද්ධ හිමි නමක භාරයේ තිබී හිටිහැටියේ හමුවූ ඇතෙක් පිළිබඳ කතා පුවතද ඔබගේ මතකයේ ඇති බව නොඅනුමානයි. ආගමේ නාමයෙන් හෝ දේශපාලන බලයන්හි නාමයෙන් කිසිසේත් සත්ව හිංසනයට, සත්ව අයිතිවාසිකම් උල්ලංඝනයට ඉඩ නොදිය යුතුයි. ආරක්ෂිත සත්වයෙකුගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර බලා නොසිටිය යුතුයි . අලි රොෂාන් තීන්දුව සැමරිය යුත්තේ මෙවන් හේතු නිසාවෙන්. වනජීවී සංරක්ෂණයේ අභියෝග, හිඩැස් සහ නව ප්‍රතිසංස්කරණ සඳහාද කඩිනමින් පෙළ ගැසිය යුතු බව මෙම සියළු සිදුවීම් ඉස්මතු කරනවා.
ශක්තිමත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් පෙර නඩු බොහොමයක් අසාර්ථක වී හෝ දුර්වල වී තිබෙනවා. වනජීවී නිලධාරීන් හා වන සංරක්ෂණ නිලධාරීන් , පොලිස් නිලධාරීන් සතුව මෙහිදී සුවිශේෂී කාර්‍යභාරයක් පවතිනවා. විශේෂඥ සාක්ෂීන් හි පවතින වැදගත්භාවයද අවධාරණය කළ යුතු වනවා.
ක්ශේත්‍රයන්හි විශේෂඥයින්ට ඇතැම් තීරණ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් ලබා දීමට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතුයි.
නීති විරෝධීව සතුන් අල්ලා ගැනීම්, දුර්වල ලෙස නියාමනය කරන ලද හිමිකාරිත්වයන් සහ සැක සහිත තත්වයන් ප්‍රාදේශීය හෝ පළාත් මට්ටමින් නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. උපදින සෑම අලි පැටවෙකුගේ සිටම වයස්ගතම සද්ධන්තයා දක්වා ඩිජිටල් දත්ත පද්ධතියක් යාවත්කාලීන කළ යුතුයි .
නීතියේ ආධිපත්‍යය සමඟ සංස්කෘතියට සහ සම්ප්‍රදායට ගරු කිරීම තුලනය කිරීම සියුම්ව සිදු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට ඇති තර්ජනයෙන් වැඩි ප්‍රමාණයක් වාසස්ථාන විනාශය, අලිමංකඩවල් අහිමි වීම, දුම්‍රියට බිලි වීම, ජාවාරම්කරුවන්ට හසු වීම, වෙඩි තබා ඝාතනය කිරීම ආදියෙන් සමන්විත වනවා.
නීති ඵලදායී වන්නේ උල්ලංඝනයන් අනාවරණය වී දඬුවම් ලැබෙනු ඇතැයි ජනතාව විශ්වාස කරන්නේ නම් පමණයි. අලි රොෂාන් ගේ තීන්දුව මහජන දැනුවත්භාවය වැඩි කිරීමට උපකාරී වන අතර අනාගත ජාවරම්කරුවන් වළක්වනු ලැබීමටද හේතුවක් විය හැකියි.
ශ්‍රී ලංකාවේ අද්විතීය සළකුණක් වන හස්තීන් ජාවාරම් කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වර් තමාන රජයට , රාජ්‍ය නිලධාරීන්ට, පරිසර වේදීන්ට පවතින්නේ සුළුපටු වගකීමක් නොවෙයි.
අලි ඇතුන්ගේ වයස් ඇස්තමේන්තු කිරීම, සම්භවය පිළිබඳ ලේඛනගත කිරීම, DNA සාක්ෂි සටහන් එක් කිරීමෙන්, ඒ සියලු දත්ත නිසියාකාරව ලැයිස්තුගත කිරීමෙන්,
විශේෂිත ක්ෂේත්‍රවල වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්, පශු වෛද්‍ය විශේෂඥයින්, නීති ක්ෂේත්‍රයේ බලධරයන් පුහුණු කිරීමෙන් වනජීවී අපරාධයන් විසඳීමට සහ ස්ථිරසායී විසඳුම් ලබා දීමට පහසු වනු ඇත.
2026 වර් ෂයේ අගෝස්තු මස එනම් මීට දින කිහිපයකට පෙර අලි ඇතුන් සමබ්න්ධ නව නීති පිළිබඳව නැවත කතිකාවතක් ඇතිව තිබෙනවා. 2026 ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර ලබා දීමේ රෙගුලාසි මාලාව සමාලෝචනය කිරීමට විශේෂ කමිටුවක් රජය විසින් පත් කර තිබෙනවා. මෙමඟින් හෝ අලි ඇතුන් සම්බන්ධ සැබෑම ගැටළු ප්‍රායෝගිකව විසඳනු ඇතැයි පරිසර ලෝලී සැම උදක්ම බලාපොරොත්තු වන බව දැකිය හැකියි.
ශ්‍රී ලංකාවේ අලියා හුදෙක් සත්වයකු පමණක් නොවේ. පමණක් නොවේ. එය අපගේ උරුමයේ ජීවමාන සංකේතයක්. ජීව විද්‍යාත්මකව අතිවිශාල වටිනාකමකින් යුත් පරිසර පද්ධතියේ තුලනයට අත්‍යවශ්‍ය අමිල සත්වයෙක්. අපගේ පරිසරය, අපගේ සංස්කෘතිය සහ අපගේ රටෙහි අනන්‍යතාවය පිළිබඳ මතකයන් රැගෙන යන ජීවමාන සංකේතයක්. මෙවන් ජීවියෙකු වෙළඳාම් කිරීම, මරා දැමීම හෝ සූරාකෑම යනු අප අපවම විකුණා ගැනීමක් සහ අපවම බිල්ලට දීමක් බව වටහා ගත යුතුයි.අලි ජාවාරමේ කුරිරු චක්‍රයට තිත තැබීම නූපන් පරම්පරාවේ හෙට දවස වෙනුවෙන් ඔබ අප සැවොම සතුව පවතින සුවිසාල ජාතික මෙහෙවරක්.
තාරිකා ද සිල්වා



